www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

සිත අලුත්කර ගැනීම. /දෙවැනි කොටස

"නුඹලා පසුගිය කාලයෙහි එසේ හැසිරුනේය. ඒ නුමුත් දැන් නුඹලා ඒ සියල්ල ; එනම් කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරිම, කැත කතාව යන මෙවැනි පුරුදු අත්හරින්න.
එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා නුඹලාගේ පරණ මනුෂ්‍යය ස්වභාවය ඔහුගේ ක්‍රියා සමග අහක දමා, ඒ වෙනුවට අලුත් මනුෂ්‍යයෙකු ලෙසින් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේ ගේ රුපය ලෙසින්, සම්පුර්ණ දැනගැනීම සඳහා අලුත් කරනු ලබා ඒ අලුත් ස්වභාවය පැළඳ ගත්තේය."
-කොලොස්සි 3: 9-10.

පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ මිනිසුන් මුහුණදුන් අභියෝගය වුයේ දේව වචනයට කීකරුව ජීවත්වීමට තිබු නොහැකියාවයි. එසේ වීමට බලපෑ හේතුව ඔවුන් තුල රජයන පාපය නමැති දුර්වල ස්වභාවය බව එසිකියෙල් සහ යෙරෙමියා තුලින් පෙන්වාදෙමින් දෙවියන්වහන්සේම ඒ වෙනුවෙන් පිහිට වීමට ඉදිරිපත් වීමේ පොරොන්දුව "අලුත් සිතක්" යන පාඩමෙන් සොයා බැලුවෙමු.

මිනිස් වර්ගයා සතු වූ මේ පාපය නමැති දුර්වල ස්වභාවයෙන් ජයගැනීමට දෙවියන්වහන්සේ විසින් පිළියෙළ කල සැලැස්ම වුයේ දෙවියන්වහන්සේම විසින් මිනිසාගේ පාපයේ දඬුවම උසුලා ගැනීමට ඉදිරිපත් වීමයි. යෙරෙමියා සහ එසිකියෙල් තුලින් දුන් ඒ පොරොන්දුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත පුජාව තුලින් නිමවූ ආකාරය අලුත් ගිවිසුම පැහැදිලි කරයි. (යේසුස් වහන්සේ විසින් මිනිසාගේ පාපයේ දඬුවමට අවශ්‍යය මිලය ගෙවා දමා, පාපයට සමාව මෙන්ම පාපයෙන් ජයගැනීමට අවශ්‍යය බලයද උන්වහන්සේම විසින් පෙන්තකොස්ත දිනයේදී ලබා දීම.)

ඉහත සඳහන් ලිපිය තුලින් පාවුල් තුමා කොලොස්සියේ ජීවත්වූ ඇදහිලිවන්තයන්ට මතක් කර සිටින්නේද දෙවියන්වහන්සේගේ ඒ ක්‍රියාව ගැනයි. එබැවින් ඇදහිලිවන්තයන් දැන් පාපයේ බලයට යටත්වී පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ ඒ සෙනග මෙන් නොවෙනා බව ඔහු පෙන්වාදෙයි.

හේතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අප ලැබුවාවූ ඒ මිදීම හේතුවෙන් දැන් පාපයේ බලය අපව පාලනය නොකරන හේතුවත් එසේම දැන් අප පාපයට සමාව ලද මිනිසුන් වන බැවින් දෙවියන්වහන්සේගේ ආත්මයද අපගේ සිත් තුල වැඩවාසය කරන නිසාත්, යේසුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් එදා පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ ඒ මිනිසුන් ලෙසින් පාපයේ බලයට යටත්ව දුර්වලයන්සේ ජීවත්වීමට අවශ්‍යය නොවෙනා බව ඔහු පැහැදිලි කරයි.

ඒ ගැන කෙටියෙන් එතුමා පවසා සිටින්නේ, ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් ඇදහිලිවන්තයන් වන අපත් එබැවින් දැන් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවූ ඇදහිලිවන්තයන් වන බැවින්, තවදුරටත් ලෝකයේ ආකාරයට සමානවී පරණ පුරුදු වලට අනුව නොව නුමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අප ලද ඒ ජයග්‍රහණයේ ආත්මයාණන් වහන්සේගේ බලයෙන් පාපයෙන් ජයගත් මිනිසුන් ලෙසින් සිත අලුත් කරගෙන ජීවත්වීමට උත්සාහ කරන ලෙසට කරන ආරාධනාවයි.

"ඉදින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ හා සමග නැගිට්ටවනු ලද්දාහු නම්, උසස් තැන්හි තිබෙන දේම සොයාපල්ලා.
එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩ හිඳින සේක. පොළොවේ තිබෙන දේ නොව නුමුත් උසස් තැන්හි තිබෙන දේම සලකාපල්ලා".
- කොලොස්සි 3: 1-2

දෙවියන්වහන්සේගේ ආත්මය අප තුල ජීවත්වීමට නම්, ඒ වෙනුවෙන් පළමුවෙන්ම අපට අපගේ ජම්මික පාපයට සමාවද අවශ්‍යය වෙයි. යේසුස් වහන්සේ විසින් පිළිගන්වනු ලැබූ ඒ පව්කමාව අපගේ ඇතුලාන්තය පවිත්‍ර කරනු ලබන්නේ පාපයට සමාව ලබාදීම තුලයි. ජම්මික පාපයට සමාව ලැබීම අපව ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේට සම්බන්ද වීමට අවශ්‍යය සුදුසුකම සපයාදෙයි. ඒ සුදුසුකම දෙවියන්වහන්සේගේ ආත්මය අප තුල වාසය කිරීමට අවශ්‍යය වාතාවරණයද අප තුල නිර්මාණය කරයි.

නුමුත් එසේ නොවනා විට, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේට අප තුළට පැමිණ වාසය කිරීමට හෝ අප තුලින් ක්‍රියාත්මක වීමට අපහසුවන බව පෙන්වාදෙන පාවුල් තුමා මෙහිදී පැහැදිලි කර සිටින්නේ; එබැවින් මේ ලෝකයේ ආකාරයට සමාන නොවී ඒ වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ තුළින් පාපයට සමාව ලැබුණු මිනිසුන් ලෙසින් දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවූ ජිවිතයක් ගත කිරීමට දැන් දෙවියන්වහන්සේ අපට දී ඇති ඒ පොරොන්දුව අල්ලාගෙන ජීවත්වීමට උත්සාහ කරන ලෙසයි.

ක්‍රිස්තුස් වහන්සේ මෙන් යහපත් ජිවිතයක් ගත කිරීමට උත්සාහ ගැනීමේදී අප සියළුදෙනා මුහුණ දෙන අභියෝගය වන්නේ; ආත්මික දේවල් අපට නොපෙණෙන නිසා ඒවා වැදගත් සේ අපට නොපෙනීමයි. නුමුත් ලෞකික දේවල් දෙස බැලීමේදී ඒ සියල්ල අප එකිනෙකාගේ ජීවිතය සමග බැඳී ඇති බැවින් මිනිසුන් හැටියට එදිනෙදා ජිවිතයට සම්බන්ද එවැනි දෑ ගැන අප උනන්දු වෙන් කටයුතු කිරීමයි.. බොහෝ වෙලාවට ආත්මික දේවල් වලට වඩා ලෞකික දේවල් ගැන තීරණ ගැනීමටත් ඒවා අල්ලා ගැනීමටත් අප උනන්දු වන්නේද ඒ හේතුව උඩයි.

ලෞකික දේවල් බොහෝ දුරට අපගේ ලෞකික ජීවිතයට සැප පහසුව ගෙනදෙන බැවින් සමහර අවස්ථාවන් වලදී නොසුදුසු දේවල් ඉදිරියේදී ඒවා නුසුදුසුයි යන හැඟීම අප තුලින්ම පැන නැගුනත්, එවැනි දෑ කෙරෙහිම අපගේ සිත ඇදී යන්නේ අප තුල රජයන පාපිෂ්ඨ ස්වභාවයද හේතු කරගෙනයි. එබැවින් මිනිසුන් හැටියට හරි දෙය පමණක් කිරීමට හෝ හරි දෙය පමණක් තෝරා ගැනීමට ඇති ඒ "නොහැකියාව" යන අභියෝගය, දිනපතා අප මුහුණදෙන ආත්මික "පොරබැදීම" ලෙසින්ද පාවුල් තුමා විස්තර කරයි.

ඇදහිලිවන්තයන් වන අප දිනපතා මුහුණ දෙන මේ ආත්මික පොරබැදීමට ඇති එකම හේතුව වන්නේ, මාංශික වූ අප තුල ස්වභාවයෙන්ම ක්‍රියාවට නැගෙන පව්කාර ස්වභාවයේද හේතුවයි. ඒ යථාර්තය ගැන පරණ ගිවිසුමේ එසිකියෙල් සහ යෙරෙමියා මෙන්ම අලුත් ගිවිසුමේ පාවුල් තුමාද ගැඹුරින් කතා කරන්නේ, අප සියලු දෙනාම මුහුණ දෙන මේ ආත්මික පොරබැදීම අප තුල සැබැවින්ම ක්‍රියාවට නැගෙන්නක් ද වන නිසායි...

"මක්නිසාද මා කරන දෙය මම නොදනිමි.
මා කරන්නේ මා කැමති දේ නොව නුමුත් මා ද්වේශ කරන දේය.
එහෙයින් එය කරන්නේ මා නොව, මා තුල වාසය කරන පාපයය.
මක්නිසාද මා තුල, එනම් මාගේ මාංශය තුල, කිසි යහපතක් වාසය නොකරන බව දනිමි.
මකින්සාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීමේ හැකියාව මට නැත්තේය.
මක්නිසාද මම කැමති යහපත් දෙය නොකර අකමැති නපුරම කරමි.
ඉදින් මම අකමැති දෙය කරන්නේ නම්, ඒක කරන්නේ මා නොව මා තුල වාසය කරන පාපයය."
-රෝම 7 15-20

යථාර්තය එසේ වන බැවින් පාවුල් තුමා එකින් එක පැහැදිලි කරමින් මෙහිදී පෙන්වා දෙන්නේ; දිනපතා කීකරුකමෙන් ජීවත්විය යුතුවූ මෙම ක්‍රිස්තියානි ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනයාම මනුෂ්‍යන් හැටියට අපට අමාරු දෙයක් වුණත්, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දැන් අප තුළ සම්පුර්ණ වී ඇති නිසා (යෙරෙමියා තුලින් දුන් පොරොන්දුව වූ අලුත් සිතක් අප තුල ඇතිකර උන්වහන්සේගේ ආත්මය අප තුල වාසය කිරීමට සැලැස්වීම යන ඒ පොරොන්දුව) දැන් අපට අප තුල වැඩවාසය කරන දෙවියන්වහන්සේගේම ආත්මයාණන් ගේ උපකාරයෙන් ඒ ආත්මික පොරබැදීමෙන් ජයගත් හැකි බවයි.

පාපය වෙනුවට යහපත් දෙය තෝරා ගැනීමටත් දෙවියන්වහන්සේගේ වචනයට කිකරුවිමටත් ඒ තුලින් ඇදහිල්ලෙන් ගෙනයන අපගේ මේ ආත්මික ජීවිතය සාර්ථක එකක් කරගැනීමටත් දැන් අපට හැකි වන්නේ, අප තුල ජිවත්වන ක්‍රිස්තුස්වහන්සේගේ "ආත්මය " කරනකොට ගෙනයි. අපගේ ආත්මයත් සමග එකට බැඳී අපගේ සිත් තුල ජිවත්වන දෙවියන්වහන්සේගේ මේ අලුත් ආත්මික සම්බන්දය පවුල් තුමා "පෑස්සීම" යන වචනය යොදාගනිමින් අදහස් දක්වනු පෙනෙයි.

අපගේ හදවත් තුලට පැමිණ වාසය කරන දෙවියන්වහන්සේගේ ආත්මය යන මේ සම්බන්දය "පෑස්සීම යනුවෙන්" එතුමා මෙහි අදහස් කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මය දැන් ක්‍රිස්තුස් වහන්සේ පිළිගෙන අදහන ඇදහිලිවන්තයන් වන අපගේ "සිත්" තුළ එකට වාසය කිරීමේ ක්‍රියාව හඳුන්වා දීමටයි. එයින් පැවසෙන්නේ දෙවියන්වහන්සේගේ ආත්මය දැන් අපගේ ආත්මය හා සමග එකට බැඳී තිබෙන ඒ අලුත් සම්බන්දයයි.

එබැවින් දැන් ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් ඇතුලාන්තයෙන් ශුධාත්මය සමගද එකට බැඳී (පෑස්සී) ජිවත්වන බැවින් පාපයට විරුද්ධ නැගීසිටීමේ බලයද අප සතු වන බවත් ඔහු මතක්කර සිටියි. දැන් අපි ජිවිතයට මුහුණ දෙන්නේ තනිව නොව නුමුත් අප තුල වාසය කරන දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ උපකාරයෙන්ද වන බැවින් දිනපතා ජිවිතයට එල්ලවන අභියෝගවලින් ජයගැනීමට උන්වහන්සේගේ මඟ පෙන්වීම තුලින් හැකි බවත් පාවුල්තුමා පෙන්වාදෙයි.

අපගේ ආත්මය සමග දෙවියන්වහන්සේගේ ආත්මයත් එකට බැඳී පෑස්සී තිබෙන බැවින්, අප දැන් ඒ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ හා සමග අළුත් ජීවිතයකට ගොඩනගනු ලබන සෙනගක් බවත් පෙන්වාදෙන පවුල් තුමා එබැවින් ඇදහිලිවන්තයන් හැටියට මෙළොව ආකාරයට සමාන වූ ජිවිතයක් ගතකරනවා වෙණුවට දෙවියන්වහන්සේ පිළිගත් ස්වර්ගීය සවභාවයට (ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ආත්මික ස්වභාවයට)සමාන ධර්මිෂ්ඨ ජීවිතයකට මුලපුරනා ලෙස අපෙන් ඉල්ලා සිටියි.

ක්‍රිස්තුස් වහන්සේ තුළින් වෙනස් කරනු ලැබුවාවූ අපගේ "අලුත් සිත" නමැති ඇතුලාන්තය යේසුස් වහන්සේ පිළිගැනී මෙන් සම්පුර්ණ නොවෙනා බවත් පාවුල් තුමා මෙහිදී මතක් කරසිටින්නේ, ආත්මික ජීවිතය දිනපතා ගොඩ නැගෙන්නක් ද වන නිසායි.

අපගේ ආත්මික ජීවිතය යේසුස් වහන්සේ පිළිගත් පළමු දවසේ මොලොවින් පටන් ගෙන, ඉන්පසු අප මොලොව ජිවත්වන මුළු ජීවිතය පුරාමත්, ඉන්පසු මරණය තුලින් අපගේ ආත්මය දෙවියන්වහන්සේට සම්බන්ධවන ඒ අවස්තාව දක්වාමත් දිවයන්නක්ද ( දිනපතා ගොඩනැගෙන ජිවිතයක්ද වන නිසා ) වන නිසා, ක්‍රිස්තු ඇදහිලිවන්තයන් වන අප,ආත්මිකව අප තුල දිනපතා ගොඩනැගෙන මේ අළුත් ආත්මික වර්ධනය යන ඒ ක්‍රියාව හරිලෙසින් වටහා ගෙන සිටීමත් වැදගත්වෙයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අප තුල ආත්මයාණන් වහන්සේගේ උපකාරයෙන් ගොඩනැගෙනා මේ ආත්මික පැත්ත ගැන බොහෝ වැරදි වටහා ගැනීම් ද තිබෙයි. ඒ ගැන බොහෝදෙනා දරන පළමු වැරදි අවබෝධය වන්නේ, ආත්මික ජය යේසුස් වහන්සේ අදහා ගැනීමට පැමිණීමත් සමග ක්ෂණයකින් අප තුල සම්පුර්ණ වන්නක් යන තේරුම් ගැනීමයි.

නුමුත් පාවුල් තුමාගේ ඉගැන්වීම දෙස විමසිල්ලෙන් බලනවිට පෙනෙන්නේ, එය එසේ සිදු නොවන බවයි. ඒ වෙනුවට එය සිදුවන්නේ, දවසින් දවස ආත්මයාණන් වහන්සේ තුළින් අපගේ ඇතුලාන්තය තුල ඇතිවන වෙනස්වීම කරණකොටගෙන බවත් ඔහු පෙන්වාදෙයි. ඒ අනුව එය ක්‍රමක් ක්‍රමයෙන් අප තුල ගොඩනැගෙන වෙනස්වීමක් බවත් පැහැදිලිව පෙනෙයි. දෙවියන්වහන්සේගේ ආත්මය අප තුලත් එසේම අපගේ ආත්මය දෙවියන්වහන්සේට කිකරුවිමත් යන ඒ ක්‍රියාධමයේ ප්‍රතිඵලය ලෙසින් පමණක් අපගේ ආත්මික ජීවිතය ගොඩනැගෙයි.

ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමෙන් පසුව ඇදහිලිවන්තයගේ ඇතුලාන්තයේ සිදුවන මේ ආත්මික පෙරලිය අප තුල ක්‍රමක් ක්‍රමයෙන් සිදුවන්නක්ද වන බැවින් එහි වර්ධණය උදෙසා අපගේ කැපවීම මෙන්ම ඒ වෙනුවෙන් උනන්දුවී තීරණ ගැනීමත් බෙහෙවින් අවශ්‍යය බවත් මෙහිදී අප අවටහා ගතයුතු වන්නේ එය ආත්මික පොර බැදීමක්ද වන හේතුව නිසායි. එබැවින් අපගේ වගකීම ආත්මික වර්ධනයේ හේතුවට කෙලින්ම බලපානු ලබයි.

ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීමෙන් පසුව අප ගෙනයන මේ ආත්මික ජීවිතයේ අවසානය වන්නේ, අප දෙවියන්වහන්සේගේ ස්වභාවයට සමාන මිනිසුන් සේ වෙනස්වීම වීමයි. ඒ අතර තුර දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ සාක්ෂිකාරයන් ලෙසින්ද මොලොව පාවිච්චි කරයි. අප තුල ජිවත්වන ආත්මයාණන් වහන්සේ එසේ උන්වහන්සේගේ කැමැත්ත මොලොව සිදුවීමට අපව මාර්ගයක් කරගනියි.

"එබැවින් නුඹලා ලෝකයේ ව්‍යවහාරය ලෙසට තවදුරටත් හැඩ නොගැසී, නුඹලාගේ සිත් අලුත් කර ගැනීම තුලින් අන්‍යකාර ඇත්තෝ වෙයල්ලා.
එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා නුඹලාට තේරුම්ගත හැකි වන්නේය."
-රෝම 12

පාවුල් තුමා සදහන් කරණ අයුරින් අපගේ සිත් අලුත් කරගත හැකිවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගෙන සිටින්නේ නම් පමණි. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට අපට ඇති එකම මාර්ගය වන්නේ දේව වචනය කියවීමට උනන්දු වීමත් ඒවා මෙනෙහි කිරීම තුලින් යාඥාවෙන් කාලය ගත කිරීමට උනන්දු වන්නේ නම් පමණි.

එසේම දේව වචනයේ සඳහන් සත්‍ය අපගේ සිත්වලට කිදා බැසීමට නම්, පළමුවෙන්ම අප සත්‍යය කුමක්ද? යැයි කියා පමණක් නොව නුමුත් සත්‍යය අවශ්‍යවන්නේ ඇයි? යන හේතුවද අවබෝධකරගෙන සිටිය යුතු වන්නේද ආත්මික ජීවිතය ඉබේම ගොඩනැගෙන්නක් නොවීමේද හේතුවයි.

එහි වර්ධනය වෙනුවෙන් ගොවියන් මෙන් අවශ්‍යය පරිසරය සුදානම් කිරීමත්, බිජ වැපිරීමට පස සකස් කිරීමත්, ඉන්පසු ඒවා වර්ධනය වන පිණිස වතුර දැමීමත්, පමණක් නොව නුමුත් ඒ අවට ඒ සමග වර්ධනයවන වල් තණකොළ පවා ගලවා උදුරා දැමීමත් අවශ්‍යය බවත් ඒ ගැන අපි තේරුම් ගත යුතුයි.

දෙවියන්වවහන්සේගේ සැළැස්ම සහ කැමැත්ත වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගේ එළිදරව් වීම සඳහන්වී ඇත්තේ බයිබලයේ පමණි. එසේම අපගේ ඇදහිල්ල, විශ්වාසය, හා නමස්කාරය යන මේ සියල්ල සිදුවන්නේද, උන්වහන්සේගේ වචනය තුල ගැබ්ව ඇති ඒ සත්‍යය ගැන අප තුල ඇති අවබෝධය හා තේරුම් ගැනීම මෙන්ම විශ්වාසය තුළින්ද පමණි.

ඒ අනුව අප කෙතරම් දුරට උන්වහන්සේගේ වචනය දැන සිටින්නේද, එතරම් දුරට උන්වහන්සේගේ සත්‍යයද අප අවබෝධ කරගනියි.
මෙහිදී අප කෙතරම් දුරට උන්වහන්සේගේ සත්‍යය අවබෝධකර ගෙන තිබෙයිද,
එතරම් දුරට උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසයද ගොඩනගා ගනියි.
අප එකිනෙකාගේ විශ්වාසය පමණක් උන්වහන්සේ කෙරෙහි අදහාගැනීමට අපව පොළොඹවයි.
මෙසේ අප තුළ ගොඩ නැගී ඇති අපගේ ඇදහිල්ලේ විශාලත්වය ගොඩනැගෙන අතර ඒ අනුව පමණක් අපගේ නමස්කාරයද එහි ගැඹුරද තීරණය කෙරෙයි.

දෙවියන්වහන්සේ අල්ලා ගැනීම හෝ අත හැර දැමීම යන ඒ වගකීම සැමවිටම මිනිසාගේ පුද්ගලික කැමැත්ත මත රැඳී තිබෙයි. ඒ බැවින් ආත්මික ජිවිතයේ ජයග්‍රහණය මෙන්ම පරාජය යන තීරණයන් මෙන්ම මිනිසාගේ ආත්මික ජිවිතයේ අවසානයත් මිනිසාගේම පුද්ගලික තෝරාගැනීමට අනුව පමණක් තීරණය වෙයි. දෙවියන්වහන්සේ තමන්ගේම ජීවිතය පව්කාර මිනිසාගේ ගැලවීම වෙනුවෙන් පුජා කරන තරමට විශාල වුවත්, ඒ ගැලවීම තෝරා ගැනීමේ හෝ අත්හැර දැමීමේ වගකීම මිනිසාට පමණක් බලපායි.

දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට අපව පමුණුවන පිණිස, උන්වහන්සේම ඒ වෙනුවෙන් ජීවිතය පුජාකර ඒ තුලින් උන්වහන්සේගේ ආත්මය අප තුළ වාසය කිරීමට අවශ්‍යය මාර්ගය සාදාදෙනු ලැබුවත්, ප්‍රශ්ණය වන්නේ, උන්වහන්සේට කිකරුවී ජීවත්වීමට කැමැත්ත සහ උවමනාව අපට තිබෙනවාද යන කාරණයයි.

"සහෝදරයෙනි, දෙවියන්වහන්සේ ඉමහත් දයාවක් පෙන්වූ බැවින්,
ඔබගේ ශරීර දෙවියන්වහන්සේට කැපකළ, උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදෙක්ම ඉල්ලා සිටිමි.
සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
නුඹලා ලෝකයේ ව්‍යවහාරය අනුව හැඩ නොගැසී,
සිත අලුත් කරගැනීමෙන් අන්‍යයාකාර ඇත්තෝ වෙයල්ලා.
එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත,
එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණවූ දේ කුමක්ද කියා නුඹලාට තේරුම්ගත හැකි වන්නේය.
-කොලොස්සි 1 - 3.

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් කරුණාකර පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)